මෑත ඉතිහාසය පුරාවට මුහුදට ප්ලාස්ටික් එකතු කරන්නෙකු ලෙස ශ්‍රී ලංකාව ලොව පුරා අප්‍රසාදයට ලක්වූ රටකි. සරලවම මුහුදට ප්ලාස්ටික් එකතු කරන්නන් අතර ලංකාව සිටින්නේ ලෝකයෙන්ම 5 වන ස්ථානයේය. 2015 දී ලොවපුරා ඉතා ඉහළ පිලිගැනීමක් ඇති "Science" ජර්නලය විසින් ප්‍රකාශයට පත් කරන ලද “Plastic waste inputs from land into the ocean” නම් වූ පර්යේෂණට අනුව ලෝක වෙරළබඩ ජනගහනයෙන් 0.7% පමණක් ඇති ශ්‍රී ලංකාව, ලෝකයේ සාගරයට එක්වන ප්ලාස්ටික් ප්‍රමාණයෙන් 5% ට පමණ වගකියයි. අධික වෙරළබඩ ජනගහනයක් ඇති ඉන්දියාව පවා සාගරයට එක්කරන ප්ලාස්ටික් ප්‍රමාණය ලොකයේ මුළු එකතුවෙන් 1.9% කි. එසේ නම් මේ පර්යේෂණය අනුව ශ්‍රී ලංකාව සාගර ප්ලාස්ටික් හැසිරවීමේ සැබෑ අවුල් ජාලයක සිටින බව පෙනේ.

                              

ශ්‍රී ලංකාව සැබවින්ම මෙතරම් සාගර දූෂකයෙක්ද නැත්නම් පර්යේෂණට වැරදුනාද?

මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයන්නට අපි මෙම පර්යේෂයේ ගණනය කිරීම් සහ දත්ත විමර්ශනය කිරීමට පටන් ගත්තෙමු. අප මෙම පර්යේෂණය හරහා ගමන් කරන විට, දිනකට ඒක පුද්ගල අපද්‍රව්‍ය උත්පාදනය ලෙස භාවිතා කර ඇති අගයන්හි සැලකිය යුතු දෝෂයක් ඇති බව පැහැදිලි විය. ශ්‍රී ලංකාව සඳහා දිනකට ඒක පුද්ගල අපද්‍රව්‍ය උත්පාදනය යොදා ඇති අගය කිලෝග්‍රෑම් 5.1 කි. දිනකට ඒක පුද්ගල අපද්‍රව්‍ය උත්පාදනය කිරීමෙන් ලෝකයේ පළමු ස්ථානය ශ්‍රී ලංකාව වන අතර ඇමරිකා එක්සත් ජනපදය දෙවන ස්ථානයට පත්වී ඇත. ඇමරිකා එක්සත් ජනපදය දිනකට ඒක පුද්ගල අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.58 ක් ජනනය කරයි. ලෝකයේ අනෙක් සියලුම රටවල් දිනකට අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.6 ට වඩා අඩුවෙන් ජනනය කරන විට, ශ්‍රී ලංකාව දිනකට ඒක පුද්ගල අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5.1 ක් උත්පාදනය කිරීම අභිරහසකි. එබැවින් පර්යේෂණ සඳහා භාවිතා කරන "supplementary material" ගවේෂණය කිරීමට අපි තීරණය කළෙමු.
ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු ලෝක බැංකු මූලාශ්‍රවලින් කෙලින්ම ලබාගෙන ඇති බව "supplementary material" මගින් පැහැදිලි විය. එබැවින් අපි ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරන ලද අපද්‍රව්‍ය පිළිබඳ දත්ත සොයා බැලීමට පටන් ගතිමු.

ලෝක බැංකුවට වැරදුනාද?

ලෝක බැංකුව 2012 සහ 2018 වර්ෂවලදී අපද්‍රව්‍ය කළමනාකරණය පදනම් කරගෙන වාර්තා 2 ක් ප්‍රකාශයට පත් කර තිබේ.
Report 1 : What a Waste : A Global Review of Solid Waste Management (2012)
Report 2 : What a Waste 2.0: A Global Snapshot of Solid Waste Management to 2050 (2018)
මෙම වාර්තා 2 මගින් ශ්‍රී ලංකාව සඳහා ප්‍රකාශිත අපද්‍රව්‍ය උත්පාදන අගයන් පහත පරිදිය.
Report 1 : 5.1 kg per capita per day
Report 2 : 0.34 kg per capita per day
මේ අගයන් දෙස බැලූ කල ලෝක බැංකු දත්තවල දෝෂයක් ඇති බව පැහැදිලිය.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2014/2015 දී ලබා දී ඇති පරිදි දිනකට තනි පුද්ගලයෙකු විසින් ජනනය කරනු ලබන අපද්‍රව්‍ය පහත පරිදි වේ.
කොළඹ මහ නගර සභාව = 0.80 kg | මහ නගර සභා = 0.75 kg | නාගරික සභා = 0.60 kg | ප්‍රදේශීය සබා = 0.40 kg
එබැවින් මෙය තවදුරටත් නිරවුල් කර ගැනීම සදහා 2012 දී වාර්තාව ප්‍රකාශයට පත් කළ ලෝක බැංකුවේ පර්යේෂණ කණ්ඩායම හා අප සම්බන්ධ විය. පසුව කල විමසුම් වලදී ලෝක බැංකුවේ පර්යේෂණ කණ්ඩායම දෝෂයක් සහිතව දත්ත ප්‍රකාශයට පත්කර ඇතිබව පිළිගන්නා ලදී. කෙසේ වුවද වසර ගණනාවක් ගතවී ඇති බැවින් එම වැරැද්ද කෙසේ වූවා දැයි ඔවුන්ට නිශ්චිත නැති බවත්, බොහෝ දුරට එය typing mistake එකක් විය හැකි බවටත් ඔවුන් දැනුම් දෙන ලදී.
දැන් ප්‍රශ්නයට පිළිතුරු ලැබී අවසන්‍ ය. එනම් සාගරයට අප මුදා හරින ප්ලාස්ටික් ප්‍රමාණයට වඩා, ඉතා වැඩි ප්‍රමාණයකට අප වරදකරු වූයේ ලෝක බැංකුවේ දත්ත වරදකිනි. එම නිසා නොකල වරදකට අප වරදකරු විය.

මේ නිසා ලංකාවට සිදුවූ හානිය කෙසේද?


                            

"What a Waste : A Global Review of Solid Waste Management (2012)" වාර්තාව මේ වනවිටත් 2,165 වතාවක් විවිධ වාර්තා සදහා උපුටාගෙන ඇති අතර සමහර විට ගණනය කිරීම් සිදු කිරීම සඳහා මෙම වැරදි තොරතුරු භාවිතා කරන්නට ඇත. අනෙක් අතට, ශ්‍රී ලංකාව 5 වන ඉහළම සාගර දූෂකයා ලෙස ප්‍රකාශ කරන “Plastic waste inputs from land into the ocean” යන පර්යේෂණ පත්‍රිකාව 3,157 වතාවක් විවිධ වාර්තා මගින් උපුටා ගෙන ඇත. ඊට අමතරව ලෝකයෙහි පසුගිය වසර කිහිපය පුරාවට සිදුවූ පාරසරික සාකච්ඡාවලදීද, සමාජ මාධ්‍ය හරහා පළ වූ video හා post මගින්ද ලංකාවට ඇති වූ කළු පැල්ලම සුළු පටු නොවේ. ලෝකය පුරා දත්ත බෙදා හරින සියලු වෙබ් අඩවි අද පවා පෙන්වන්නේ ශ්‍රී ලංකාව සාගරයට ප්ලාස්ටික් එකතු කරන ප්‍රධාන රටක් බවයි.

එසේ නම් නිවැරදි ගණනය කිරීම කුමක්ද?

ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට දිනකට ජනනය වන අපද්‍රව්‍ය 0.7 kg / ppd ලෙස උපකල්පනය කළහොත්, ශ්‍රී ලංකාව ප්ලාස්ටික් වලින් සාගර දූෂකයන්ගේ 23 වන ස්ථානයට පත්වනු ඇත. නව ගණනය කිරීම් වලට අනුව ලෝක වෙරළාසන්න ජනගහනයෙන් ප්‍රතිශතය 0.7% ක් වන අතර ශ්‍රී ලංකා වෙරළබඩ ජනගහනය ලෝක සාගර ප්ලාස්ටික් අපද්‍රව්‍ය 0.7% කට වගකියයි. මීට පෙර තිබූ ගණනය කිරීම් අනුව 0.7% ක් වූ ජනගහනය ගෝලීය සාගර ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් 5.0% ක් සඳහා වගකිව යුතු විය.
අවසානයේ මෙසේ සටහන් කර තබමි. කසළ කළමණාකරනයෙන් හා සාගර ප්ලාස්ටික් පාලනය කිරීමෙන් රටක් ලෙස අප දියුණු විය යුතු බොහෝ දේ තිබේ. නමුදු නොකළ වැරදි අප බාරගත යුතු නැත. කාගේ අතින් වූ දත්ත වරදක් නිසා වසර 5 පුරාවට අප ලෝකයේ සාගර දූෂකයන් අතර ප්‍රධාන රටක් වී ඇත. එය නිවැරදි කල යුතුය.
PS: මෙය සිදුවූ සමයේම ඒ පිළිබද අවධානය යොමු කල Sunday Times ලේඛිකා නාමිනි විජේදාසවද මතක් කරමු.
සුසිරි කොස්තා
කථිකාචාර්ය
රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තුමේන්තුව
මොරටුව විශ්වවිද්‍යාලය